Monthly Archives: January 2016

පිට්ටනි කෑල්ල

අපේ ගමේ තියෙනවා පොඩි පිට්ටනි කෑල්ලක්. පිට්ටනි කෑල්ලක් කියන්නෙ ඕක මහ ක්‍රීඩාංගනයකුත් නෙවෙයි පාරත් එක්ක තියෙන අපිට ඔය සෙල්ලං කරගන්න පුළුවන් තරමක පොඩි ඉඩම් කෑල්ලක්.

අපිට කලින් ජෙනරේෂන් එක ඔය පිට්ටනි කෑල්ලේ වොලිබෝල් ගැහුවා. ඩෑෂ් පාරවල්, ගින්දර සර්විස්, පාස් දෙන වැඩ කෑලි අපි ඉතින් මුලින්ම දැකගත්තෙ ඔතනදි තමයි. වැඩි ආතල් එකක් ලැබුනෙ නැති හන්දද මන්දා එහෙමත් නැත්නම් පත වට්ටක්කා ගෙඩියක් වගේ වොලිබෝලේ වැදුනම අත පැලෙන්න රිදෙන හින්දද මන්දා  වොලිබෝල් ගැහිල්ල අපේ ජෙනරේෂන් එකේ නැගල ගියෙ නෑ.

අපි ගැහුවෙ ක්‍රිකට්.

හවසට සෙට් වෙන ගමේ කොල්ලො සෙට් එකත් එක්ක හැමදාම අපි ඔතන ක්‍රිකට් ගැහුවා. අපේම රූල්ස්. පහල වත්තට වැටුනොත් අවුට්. තේ වත්තට ගියොත් නෝ රන්ස්. හයක් හතරක් ගහන්නෙ කෙලින් අතට අතට පාරක් ගහන්න පුළුවන් එකෙක් විතරයි. බවුන්ඩරියක් ගහන්න ගිහින් තේ වත්තට ගහලා අවුට් වෙන එවුන් තමයි වැඩි.

ඔය පිට්ටනි කෑල්ලෙන් සංගක්කාරලා මුරලිලා බිහි උනේ නැතුවට අපි ඔතන මාර ආතල් එකක් ගත්තා.

ඒත්..

අපිට පස්සෙ ජෙනරේෂන් එක ඔතන සෙල්ලම් කරන්න ආවෙ නෑ. එක්කො උන් ඔතන ගැන දන්නෙ නෑ. නැත්නම් සෙල්ලම් කරන්න තරම් කොල්ලො සංඛ්‍යාවක් දැන් ගමේ නෑ. එක්කො අම්මලා උන්ට එන්න දෙන්නෙ නෑ. එක්කො උන්ට ක්ලාස්. නැත්නම් උන්ට පිට්ටනියෙ සෙල්ලම් කරනවට වඩා ඉන්ටරස්ටින් වැඩ ඇති. ඔය වීඩියො ගේම් වගේ.

දැන් මම ඔය පිට්ටනි කෑල්ල ලඟින් යන හැමදාම මොකක්දෝ මන්දා අප්සට් එකක් දැනෙනවා. එක විදියක නොස්ටැල්ජියාවක්. නිකම් හරියට සම්තින්ග්’ස් සීරියස්ලි මිසින් වගේ. මොකක් හරි අඩුවක්, කොතන හරි චූටි අවුලක් වගේ එකක්. ඔතන පොඩි බච්චා කොල්ලො ටිකක් වොලිබෝල් හරි ක්‍රිකට් හරි වෙන අල බෝලයක් හරි සෙල්ලම් කර කර හිටියනම් ඔහොම අවුලක් නැති වෙන්න තිබ්බා. ඒක සමහරවිට මගේ අවුලක්. අතීත කාමය, ඒක අස්සෙ හිත හිරවෙලා.

නැත්නම් අර ජෙනරේෂන් ටු ජෙනරේෂන් මාරුවීමකදි දැනෙන අර මොකක්ද අප්සට් එක මටත් දැනෙන්න පටන් අරගෙනද කොහෙද..